අඹන් ගඟ ආශ්‍රිතව පිහිටා ඇති සුවිශේෂීම සිද්ධස්ථානයක් ලෙස බුදුරුවයාය හඳුන්වා දිය හැක. පිහිටි ගලේ නෙලන ලද රියන් 21ක් දිගැති සැතපෙන පිළිමවහන්සේ නමක් වැඩසිටීම මෙහි විශේෂත්වයයි. මෙම පිළිමය පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමයට බෙහෙවින් සමානකම් දක්වයි. මෙම පිළිමයට අමතරව සිරිපතුල් ගල් ආදී කොට ඇති විවිධ නටඹුන් කීපයක්ම අවට ප්‍රදේශයෙන් දැකිය හැක. බුදුරුවයාය එක් අන්තයකින් වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති අතර අඹන් ගං කොමලියගේ අතු ගංගාවක් වූ හීරටිය ඔය කඩිමුඩියේ ගලාබසින සුන්දර නාදය දෙසවන් පිනවයි. වස්ගමුව වනාන්තරය බුදුරුවයායෙන් වෙන් කරමින් තනා ඇති අලි වැට හේතුවෙන් හීරටිය ඔය නැරඹීමේ වාසනාව නම් අපට හිමි නොවේ. අඹන් ගඟේ හඬත්, අලි, කොටි, වලස්සු ගහන වස්ගමුවේ අසිරියත් බුදුරුවයායේ සුන්දරත්වය වඩ වඩාත් ඔප් නංවයි. දඹුල්ල, රිවස්ටන් ප්‍රදේශ නැරඹීමට එන සංචාරකයන්ටත්, පොළොන්නරුවට විකල්ප මාර්ගයකින් ලඟා වීමට කැමැති සංචාරකයන්ටත් මෙය ආකර්ෂණීය මග නැවතුමක් වනු නිසැකය.
මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් බුදුරුවයාය විහාරස්ථානයට ලඟා විය හැකි මාර්ග ඉතා හොඳ තත්ත්වයක පවතී. දඹුල්ලෙන්, අති රමණීය කන්ඩලම පාර ඔස්සේ බකමූණ දක්වා පැමිණ පල්ලේගම, හෙට්ටිපොල පාරේ කි.මි. 6ක් පමණ ගිය තැන කුඹුරක් මැද වම්පසට වූ කුඩා පාරක හැරී පුංචි දුරක් ගිය තැන මෙම විහාරය පිහිටා ඇත. ඊට අදාල නාම පුවරු පාරේම සවි කර තිබෙන නිසා හඳුනාගැනීම පහසුය. නමුත් මෙම මාර්ගයන් අලුතින්ම ඉදි කල ඒවා නිසාවෙන් බොහෝ සිතියම්වල දක්නට නොලැබීම කණගාටුවට කරුණකි. දඹුල්ල - පල්ලේගම මාර්ගය ඉතාමත්ම දැකුම්කළු දසුන්වලින් පිරි මනාව නිමැවූ හොඳ තත්ත්වයේ පාරකි. එහෙයින් ඔබ බුදුරුවයාය මෙන්ම බුදුරුවයායට යන ගමනත් රසවිඳිනු නිසැකය.
Ancient Buddhist temple.
Historical place