This is an old historical Buddhist shrine probably started by King Devanumpiyathissa of Rohana kingdom around 2nd BC
මෙම ස්ථානයට කුංචනාමලය ලෙසටද ව්‍යවහාර කෙරෙයි. නමුත් මේ ස්ථානය ගැන මුලින්ම සටහන් කොට ඇති සී. ඩ්බ්. නිකලස් මහතා කුසලාන් කන්ද නමින් මේ ස්ථානය නම් කොට ඇත. තොප්පිගල සිට මීයන්කොල්ල ඇලෙන් එගොඩ වී මෙම ස්ථානයට පැමිණීමට දුර කි. මී. 20 පමණ වෙයි. එසේත් නොමැති නම් මහඔය චෙන්කල්අඩි මාර්ගයේ, චෙන්කලඩි දෙසට ගමන් කරනවිට හමුවන් කරදියන් ආරු මංසන්දිය පසුකොට ගියවිට හමුවන වම් අතට දිවෙන මගෙහි කි.මී. 3 ක් පමණ ගියවිටද මෙම පුදබිමට පහසුවෙන් ලඟාවියහැක.
කුසලාන් කන්ද ගල් පර්වත සහිත තනි කඳුගැටයකි. මේ අවට වැව් කීපයම ඇත. මේ වැව් පුරන්ව ඇතත් සුළුවෙන් හෝ ජලය රැඳී පවතී. මෙහි නිසැකවම අතීතයේදී වෙල්යායවල් වලින් සපිරුණු සාරවත් භූමිභාගයක් ව පවතින්නට ඇත.
ක්‍රි. පූ. 2 වන සියවසේ පමණ සිටම මෙම ස්ථානය විහාරස්ථානයක් ව පවතින්නට ඇත. කටාරම් කොටන ලද ලෙන් කීපයක්ම මෙහි පවතී. ඒ යුගයේ සිටම වරින්වර මෙම ස්ථානය සංවර්ධනය වී පැවත ඇත.ගල් ලෙන් කටාරම් කොටා බිත්ති බැඳ මහා සංඝයාගේ වාසය සඳහා වෙන්කර ඇති අතර ඒවා කරවූ අයගේ තොරතුරු කටාරමට යටින් කොටා ඇති බ්‍රාහ්මීය අක්ෂර ලිපි වලින් පැහැදිළි වෙයි.
පර්වතය මත ස්ථුඵ 3 ක ගඩොළු දක්නට ලැබෙයි. පැරණි ගඩොළු පර්වතය මුලටද පෙරලී තිබෙයි. එක් ස්ථූඵයක වලක් හාරා ත්‍රස්ථවාදීන් බර අවියක් සවිකොට තිබී ඇත. මෙම ස්තූපයේ ගඩොල් හෑම එකකම වාගේ අක්ෂර සටහන් දක්නට පුළුවන. තුන්වන ස්ථූඵය අසල පර්වත් බෑවුමේ පද්මාසමයක් දක්නට ලැබිණි. එය බුදු පිලිමයක් සවිකර තිබූ එකක් විය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මෙම ස්ථානය මෑතකදී ගවේශණය කරන විට පර්වත බෑවුමේ රැඳී තිබූ පිළිමයේ කොටස් දෙකක් සොයාගෙන ඇත. සාහසිකයන් මෙම දර්ශණීය පිළිමය හිතාමතාම කඩාබිඳ දමන්නට ඇතුවාට සැක නැත. පිළිමයේ සිරස සොයාගැනීමට නොමැත.
පර්වතය තැන්න කොටසේ ඇති පොකුණ නියං සමයකදී පවා නොසිඳේ. එයවටා බැම්මක් බැඳ තිබූ බව පෙනේ. එයට බැසීමට අත්වැලක් ද කරවා ඇති බව මෙහි ඇති ගලේ කරවන ලද තවු පෙන්වා දෙයි. සමහරවිට අත්වැලට ලී කණු සවිකොට තිබෙන්නට ඇත. එහි දොරටුව මෙන්ම පියගැටපෙලද පෙරලා දමා ඇත. සමහර ගල්කණු පෙරලී ඇති අතර ඇතැම් කණු සිටවූ ලෙසටම පවතී. ඒ අසලම ඇති දර්ශණීය ගල් ලෙණ කටාරම් කොටවා සෙල්ලිපියක් පිහිටුවා බිත්ති බැඳ සකස්කොට මහා සංඝයාට පුජාකොට ඇත. මේ ලිපිය කරවා ඇත්තේ රාජ්‍ය වර්ෂයෙන් පළමු වන සියවසට අයත් අක්ෂර වලිනි. කන්දේ තැන තැන සවිකර ඇති කණු හා පාදම් ගල් අනුව පෙනී යන්නේ එහි තවත් ගොඩනැගිළි ඉදීරීම් තිබූ බවයි. කුසලාන් කන්දේ පවතින් නටඹුන් ගොඩනැගිළි 4 වන සියවසට පෙර ඉදි කොට ඇතුවාට සැක නැත. පිළිමය නෙලා ඇත්තේ මෙරට බොහෝ පිලිම නෙලා ඇති තිරුවාන මිශ්‍ර කලු ගලිනි. මෙහි කෝවිලක් ගොඩනගා ඇති බැවින නටඹුන් වලට තරමක් හානි වී ඇත.
මෙහි ලෙන් ලිපි 8 ක් දක්නට ලැබෙයි. එයින් පළමු ලිපිය උප රාජ නාග ගේ පුත්‍රයෙකු වූ අභය නම් රජෙකුගේ පුත්‍රයෙකු වන ගාමිණී තිස්ස විසින් කරවන ලද ලෙණක් බව සඳහන් වෙයි. මේ ලිපිය ඉතා වැදගත් වෙයි. උපනාග රජු රුහුණ්ට පලා ආ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයෙක් වූ මහානාග හැටියට හඳුනාගත හැක. අභය රජු මහානාග ගේ පුත්‍රයෙක් වූ ගෝඨාභය හැටියටත්, ගාමිණී තිස්ස කාවන්තිස්ස රජු ලෙසටත් හඳුනාගත හැක. මෙහිදී මහා වංශයේ තොරතුරු තරමක් සංශෝධනය කරගත යුතු වෙයි. මහා වංශයේ දැක්වෙන්නේ ගෝඨාභය යටාලතිස්ස රජුගේ පුත්‍රයෙක් හැටියටයි. තවත් ප්‍රදේෂවල සොයාගෙන් ඇති ලිපිවල දැක්වෙන පරිදි ගෝඨාභය මහානාග උපරජුගේ පුත්‍රයෙක් බව පැහැදිලිය. අනෙකුත් ලෙන් පූජා කළ අය අතර තිස්සභූතී, ගුත්ත, දේවගුත්ත, සමණ, අශිතිස, සුදින්න යන අය ගැන සෙල්ලිපිවල සඳහන් වෙයි. සමහර ලෙන්වලට සුදස්සන, මනොරම්‍ය වැන් නම් ද තබා ඇත. මේ සියළු කරුණු ඒකරාශී කොට බලන විට කුසලාන්කන්ද ප්‍රදේෂයේ වූ දර්ශනීය ආරාමයක් වූවාට සැක නැත.
වර්ථමානය වන විට මෙම පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කොට ඇත. එම කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
උපුටා ගැනීම් -
ගවේෂණ තුල ගවේෂණ - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.